එන්නතේ සාර්ථකත්වය ගැන ලොවට කියන්න බැසිල් පෙරමුණ ගනී


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නැවත පණගැන්වීමේ පියවරක් ලෙස මෙරට ‘කොවිඩ්’ මර්දන එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව සෙසු රටවල් දැනුවත් කරන බවත් ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් මෙරට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කරගැනීමට අදාල රටවල් සමඟ වෙන්වෙන්ව සාකච්ඡා කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඉලක්කගත වැඩසටහනක් යටතේ සංචාරක කර්මාන්ත නැවත යථා තත්වයට පත්කිරීමට රජය පහසුකම් සැළසීමට සූදානම් බව කී මුදල් අමාත්‍යවරයා පැවසුවේ යුද සමයේ ද මේ ආකාරයටම සංචාරක කර්මාන්තට බලපෑම් එල්ල වූ අවස්ථාවේදී එම අභියෝගය ජයගත් බවත්ය.

වසංගත තත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යෑමෙ සඳහා විවිධ සහන පැකේජ හදුන්වා දී ඇති බවත් ඒවා අධ්‍යනය කර ශ්‍රී ලංකාව ද තරගකාරී සහජ පැකේජ ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත නැවත සක්‍රීය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන සහ පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් අද  මුදල් අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ එසේ පැවසීය.